World paper bag day

ලෝක කඩදාසි බෑග දිනය වෙනුවෙනි…🛍

අපි සෑම වසරකම ජූලි 12 වන දින ලෝක කඩදාසි බෑග් දිනය සමරන්නෙමු.එය කඩදාසි බෑගය සැමරීම සඳහා කැප වූ දිනයක් මෙන්ම තිරසාරභාවය සහ පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේදී මෙම බෑගවල දායකත්වය පිළිබිඹුව සඳහා වෙන්වූ දිනයක් ලෙස සැළකේ.ප්ලාස්ටික්,පොලිතීන් ඇතුළු අනෙකුත් විෂ රසායනික පෙරටු කරගත් ද්‍රව්‍ය පිළිබඳව සළකා බැලීමේදී එම ද්‍රව්‍ය අධි භාවිතය බැහැර කිරීමේ ලා කඩදාසි බෑගය විශාල වූ සේවාවක් ඉටු කරයි.
ප්ලාස්ටික් බෑග්, ඒවායේ පහසුව සහ කල්පැවැත්ම නිසා ලෝකය පුරා ප්‍රචලිත වුවද එය සැළකිය යුතු පාරිසරික ව්‍යසනයකට අත්වැල් සපයා හමාරය. ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම ප්ලාස්ටික් බෑග් බිලියන 500 ක් ගෝලීය වශයෙන් භාවිත වේ. ඒවායින් මිලියන ගණනක් අපගේ සාගර සහ භූ දර්ශනවල අවසන් වන අතර, වනසතුන්ට සහ පරිසර පද්ධතිවලට දැඩි හානියක් සිදු කරයි. මෙම බෑග් දිරාපත් වීමට වසර 1,000ක් පමණ ගත විය හැකි අතර එම සංඝටක තවදුරටත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳී, ජලය සහ පස තුළට විනිවිද යාමෙන් දිගු කාලීන පාරිසරික අවදානම් මතු කරයි.
ප්ලාස්ටික් බෑග් වලින් සිදුවන ව්‍යසනය අවම කිරීම සහ මුලිනුපුටා දැමීම සඳහා කඩදාසි බෑග් වඩාත් තිරසාර විකල්පයක් ඉදිරිපත් කරයි. පුනර්ජනනීය සම්පත් වලින් සාදන ලද ඒවා ජෛව හායනයට ලක්විය හැකි සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බැවින් ඒවායේ පාරිසරික හානිය 0% ලෙස සැළකිය හැකි තරම්ය.වර්තමානය වන විට ජලයට ඔරොත්තුදෙන,ශක්තිමත් බවින් වැඩි,තිරසාරභාවයෙන් උපරිම කඩදාසි බෑග් නිෂ්පාදනය දක්වා මෙම මෙම කර්මාන්ත දියුණු වී පැවතීම සතුටට කරුණකි.

කඩදාසි බෑග් ප්‍රතිලාභ:
1. ජෛව හායනය වීමේ හැකියාව-ප්ලාස්ටික් මෙන් නොව, කඩදාසි බෑග් ස්වභාවිකව දිරාපත් වන අතර, ගොඩකිරීම් සහ සාගරවල අපද්‍රව්‍ය හා දූෂණය අඩු කරයි.
2. ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව
3. තිරසාර බව
4. බහුකාර්යතාව

කඩදාසි බෑග ප්‍රවර්ධනය.

මෙම ගෝලීය කර්තව්‍යයට ඔබටත් පුද්ගලයෙකු,පුරවැසියෙකු, පරිසර හිතකාමියෙකු ලෙස දායක විය හැකිය. ඔබට හැකි සෑම අවස්ථාවකදී ම කඩදාසි බෑග් තෝරා ගැනීම ඉතා සුළු කාර්‍යයකි.අපගේ සාප්පු සවාරි අවශ්‍යතා,නිවසේ එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ප්ලාස්ටික් බෑගය ප්‍රතික්ෂේප කර කඩදාසි බෑගයක් ලබාගැනීම ඔබගේ කාර්‍යභාරයයි.එමෙන්ම කඩදාසි බෑග් නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ඒවායේ ප්‍රයෝජනය උපරිම කිරීමට සහ අපද්‍රව්‍ය අවම කිරීමට අත්වැල් සපයයි.තිරසර ඇසුරුම්කරණයට සහ පරිසර හිතකාමී භාවිතයන්ට ප්‍රමුඛත්වය දෙන සන්නාම සහ ව්‍යාපාරවලට අනුග්‍රහය දැක්වීම මඟින් අපගේ දායකත්වය සැපයිය හැකි අතර මේ පිළිබඳව ජනතාව,අපගේ වටපිටාව;ප්‍රජාව දැනුවත් කිරීම ඉතාමත් යෝග්‍ය ක්‍රියා පටිපාටියක් ලෙස සැළකිය හැකිය.

කඩදාසි බෑග් සහ අනෙකුත් තිරසර භාවිතයන් වැළඳ ගැනීමෙන්, අපි නිරෝගී ග්‍රහලෝකයකට සහ දීප්තිමත් අනාගතයකට දායක වෙමු. අපි මෙම වසරේ ලෝක කඩදාසි බෑග් දිනයේ අරමුණ වශයෙන් ප්ලාස්ටික් පරිභෝජනය අඩු කිරීමට සහ තිරසර විකල්ප සඳහා යොමුවීමට පෙළගැසෙමු.අපගේ පරිසරය ආරක්ෂා කරන ප්‍රතිපත්ති වෙනුවෙන් කැපවූ පරිසර හිතකාමී පුරවැසියන් වීමට කටයුතු කරමු.

Article written by : T.A.Sewmini Sithara
Post Designed By : Githma Deshani