පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක විසිකරන්න අපේ මිනිස්සු හරි දක්ෂයි . ඒක පහසුයි . නමුත් ඇත්තටම එය ජීවිතය පහසු කරයි ද ???

පාරවල් අයිනේ ,පොදු ස්ථානවල ,කැලෑබද ප්‍රදේශවල , කොටින්ම කියනවා නම් හිත පිරිසුදු කරගන්න යන පූජනීය ස්ථානවල ත් පොලිතීන් කසල ගොඩවල් එමටයි . පහසුවෙන් නිදහසේ විසිකරන එක පොලිතින් බෑග් එකක් අවුරුදු දාහක් වුණත් ඒ විදිහටම තියෙන්න පුළුවන් කියලා, එය පාරකට විසි කරද්දි මිනිස්සුන්ට නොදැනෙන්නේ ඇයි ?? එය ටික ටික මිනිස් පරිහානියට ම හේතු වෙනවා යන්න එක මොහොතක් සිතිය යුතුය .

ශ්‍රී ලංකාවේ දවසකට මිලියන 20 කට ආසන්න පොලිතීන් බෑග් සහ මිලියන 15කට ආසන්න lunch sheets භාවිතා වෙනවා . ප්ලාස්ටික් වලින් තොර ලොවක් යන සංකල්පය මත විවිධ වූ පරිසර හිතකාමී බෑග්,කවර යනාදී නිර්මාණය වුණත් , තවමත් අපි ශ්‍රී පාදස්ථානයේ ,දළදා මාලිගාවේ , BMICH හි වැඩසටහනක් අවසන් වුණාම ප්ලාස්ටික් බෝතල් , ප්ලාස්ටික් කවර එකතු කරන්න වෙනම පිරිසක් යොදවනවා.

ඒ ඇයි ??

එදිනෙදා වැඩ වැඩකටයුතු ලේසි කරගන්න ප්ලාස්ටික් උදව් වෙනවා කියලා හිතන මිනිසාට, ඇයි බැරි ,ඒ ප්ලාස්ටික් ම මිනිස් අපිට විතරක් නොව සියළු ලෝක සත්ත්ව වර්ගයාට සෘණාත්මක ලෙස බලපානවා කියල හිතන්න . “ප්ලාස්ටික් වලින් තොර ලොවක්” නැතිනම් “හෙටක්” හුදෙක් වාක්‍ය පමණක් නොවිය යුතුය. මිනිසාගේ ආකල්ප එයින් මිදීමට තරම් වර්ධනය විය යුතුය . ජපානය සමස්ත සමාජයක් ලෙස එකට එකතුව ,පරිසර හිතකාමි ක්‍රියාවන්හි නියැළේ. ඔවුන්ට ‘ECO BAGS’ භාවිතා කරන්න කිවහොත් සියලු දෙනා එය අනුගමනය කරයි . ප්ලාස්ටික් බෑග් එකක් වෙනුවට වෙළඳසැලකට යද්දි තමන් විසින්ම බෑගයක් ගෙන ගොස් අවශ්‍ය බඩු රැගෙන ඒම ජපන් ජාතිකයන් තුළ දැකිය හැකි විශිෂ්ට ලක්ෂණයකි . ඔවුන් ‘Going Green’ යන සංකල්පය හුදෙක් වචනයකට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනවා . මිනිසාගේ ආකල්ප එතරම් දියුණු විය යුතුය . ප්ලාස්ටික් වලින් තොර රටක් බිහි කිරීමට නම් සියලු දෙනාගේ ආකල්ප එක හා සමානව ඒ හා ගැටිය යුතුය . භාණ්ඩ දහයක් ගෙනඒමට ප්ලාස්ටික් බෑග් දහයක් වෙනුවට එක රෙදි කවරයක් නැතිනම් ප්‍රතිශක්තිකරණ බෑගයක් ගෙන යන්න අප සිතිය යුතුය . වතුර බෝතලයත්, ආහාර ඇසුරුම පවා ප්ලාස්ටික් වලින් තොර කිරීමට තරම් අප ආකල්ප ශක්තිමත් විය යුතුය. අප විසි කරන එක ප්ලාස්ටික් අංශුවක් බොන වතුර වීදුරුවෙ සිට හුස්ම ගන්න වාතයට ම බලපාන්න පුළුවන් කියලා මතක් විය යුතුය .

තනි තනිව හෝ අප ආකල්ප
ඒ ආකාරයට දියුණු වුවහොත් කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වලින් තොර රටක් නිර්මාණය වනු ඇත .

දිල්කි නවෝද්‍යා
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය