Eco Boost 2.0

අත්කම් නිර්මාණ ශිල්පය එහෙමත් නැත්නම් අත්කම් කලාව කියල කියන්නෙ ඈත අතීතයේ ඉදලම තියෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කලාවක්. සම්ප්‍රදායික ශිල්ප ක්‍රම හා නිර්මාණශීලිත්වය සමග එක් වූ හැකියාවක්. අද අපි කතා කරන්නෙ සොබාදහමත් එක්ක හරි අපූරුවට සංයෝජනය වෙමින් හැඩ ගැන්වෙන අත්කම් නිර්මාණයක් ගැන. එය ඔබ අප කවුරුත් සිතන රාමුවෙන් ඔබ්බට ගොස් ඉතා නිර්මාණශීලි ලෙස නිවෙස්වල බැහැර කරන පොල්කටු වලින් නිම කරන නිර්මාණයක්.ඉතින් අද අපේ මේ කතාව මෙලෙස තමන්ගේ නිර්මාණශීලි හැකියාව ආර්ථික , සමාජීය සහ පාරිසරික කියන මේ තිරසාර සාධක ත්‍රිත්වයටම හිතකර ලෙස බලපෑම් ඇති කරමින් ඒ අත්කම් කලාවෙහි නිරතවෙන එක් අපූරු තරුණ ව්‍යවසායෙකු වන Bashana Craft House හි හිමිකරු සමගයි .
++ආයුබෝවන් ඔබ තුමාට..! කොහොමද මේ දවස් වල ?
•• ආයුබෝවන් ! මං හොදින් ඉන්නවා. මගේ රැකියාවේ නිරතවෙන ගමන් ව්‍යාපාර කටයුතු කරගෙන හොදින් ඉන්නවා.
++ මුලින්ම අපිට කියන්නකෝ ඔබතුමා ගැන විස්තර ටිකක්.?
•• මම A.H.N.D. මදුභාශන. මගේ වයස අවුරුදු 28 යි. එතකොට මගේ ගම ගාල්ල අහංගම. මම දැනට පෞද්ගලික ආයතනක රැකියාවක නිරත වෙනවා වගේම ඒ අතරතුර මේ විදිහට ස්වභාවික දේවල්වලින් නිර්මාණ හදලා මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
++ හරි අපි දැන් කතා කරමු ඔබතුමාගෙ මේ අපූරු නිර්මාණ ගැන . ඉතින් අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ දෑතින් හැඩ ගැන්වෙන මේ විසිතුරු නිර්මාණ පිළිබදව ?
•• මගේ නිර්මාණ ගැන කතා කළොත් මම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසර හිතකාමී මෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි , ඔවුන්ගේ සිතැගි ඉටුවන ආකාරයේ නව නිර්මාණයන් සිදුකර දීමටයි.එහිදී මෙම පොල් කටු භාවිතය මගින් මාල කරාබු වැනි විසිතුරු පළඳනාවන් මෙන්ම නවීන ආකාරයේ ලයිට් ආවරණයන් සහ හැඳි කෝප්ප වගේ අපට මුළුතැන් ගේ නිරන්තරයෙන් ප්‍රයෝජනවත් වන දේවල් නිෂ්පාදනය කිරීම සිදුකරනවා.
++ ඔබතුමා මේ අත්කම් කලාවට යොමු වුණේ කොහොමද සහ ඔබතුමා මේ නිර්මාණ කලාවට යොමු වෙලා දැන් කොපමණ කාලයක් වෙනවද?
•• මම මේ නිර්මාණ කලාවට යොමුවෙන්න ඇත්තටම හේතු වුණේ පසුගිය කාලයේ අපි හැමෝටම මුහුණපාන්නට වූ කොවිඩ් වසංගත තත්වයත් සමඟයි. එහිදී මා හට වැඩි කාලයක් නිවසේ රැඳී සිටීමට හැකිවීම නිසා මම මේ පොල් කටු නිර්මාණ කලාව ගැන ස්වයං අධ්‍යනයක යෙදුණා. ඒ අත්කම් කලාවට මාතුල තිබූ ආශාව නිසාමයි. ඉතිං, මේ වන විට වසර 4ක පමණ කාලයක් තිස්සේ මගේ මේ නිර්මාණ කටයුතු සිදු කරගෙන යනවා.
++ අපි දන්නවා ඕනිම දෙයක් කරනකොට අපිට බාධා, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ අදහස් ක්‍රියාත්මක කරනකොට මොන වගේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඔබතුමාට සිදුවුණා ද?
•• ඔව් ඇත්තෙන්ම මම ජීවත් වෙන්නෙ ඉතා ග්‍රාමීය පරිසරයක.ඉතින් මේ නිර්මාණ කිරීමට අවශ්‍ය පොල්කටු මට ගමෙන්ම හොයාගන්න පුලුවන් වුණාට ඇතැම් අවස්ථාවන්හිදී නිර්මාණ සඳහා අවශ්‍ය කරන උපකරණ, ආයුධ, ගයින්ඩර් වගේ දේවල් හොයාගන්න අපහසුයි. විශේෂයෙන් අපි රත්තරං නිපැයුම්කරුවන් යොදා ගන්න කියත් තමයි පාවිච්චි කරන්නෙ, දුනු කියත වගේ ඒවා. ඉතින් ඒවා අපිට හොයාගන්න අමාරුයි අපේ ප්‍රදේශයෙන්. ගොඩාක් වෙලාවට මම කොලඹ ගිහින් තමයි ඒවා හොයාගන්නෙ. ඊට අමතරව මගේ මේ නිර්මාණ සදහා යොදාගන්න පොල්කටු මම ඉතාමත් සියුම් සිනිදු මතුපිටක් වෙනකන් වැලිකඩදාසි 8කින් වගේ මදිනවා. දැන් තියෙන ආර්ථික වටපිටාව එක්ක වැලිකඩදාසියකට කලින් ගෙව්වට වඩා දෙගුණයක් ගෙවන්න වෙනවා.ඒ වගේම මෙම නිර්මාණ කලාවේ දී වැයවෙන විදුලිය සහ ඒ සදහා දැන් ලොකු බිලක් ගෙවන්න වෙනවා. මෙවැනි දුෂ්කරතා රැසකට අපට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා සහ අන්තිමට නිර්මාණ අවසන් කරලා ඒ සදහා මිලක් නියම කරන්න ගියාම අපි අසරණ වෙනවා පිරිවැයට සාපේක්ෂව පාරිභෝගිකයන්ගෙන් අය කරන්න වෙන මිල තීරණය කිරීමේදී.
++ හරි ඒ විදිහට ගැටලු, බාධා, අභියෝග එක්ක ඉදිරියට යන මේ ගමනේ පොල් කටු නිර්මාණ සඳහා අද වෙළඳපොළ තත්ත්වය කොහොමද.?
•• වෙලදපොළ ඉල්ලුම ගැන කියනවානම් , මගේ මේ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙ අහංගම ප්‍රදේශයේ. අහංගම කියල කියන්නෙ මේවන විට විදෙස් සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් නිතර සැරිසරන ප්‍රදේශයක්. ඉතින් එයාල මේ වගේ ස්වභාවික නිශ්පාදිතනවලට ගොඩක් කැමතියි. ඊට අමතරව මම එක එක ප්‍රදර්ශනවලට සහභාගී වෙනවා සහ ඒ තැන්වලදීත් මගේ නිශ්පාදනවලට දෙස් විදෙස් පාරිභෝගිකයන් දෙපාර්ශවයගෙන්ම ඉල්ලුමක් තියෙනවා. ගොඩක්ම සංචාරකයන්ගෙ ඉල්ලුම තමයි තියෙන්නෙ මගේ නිර්මාණවලට.
++ වෙලදපොළේ විවිධාකාර පොල්කටු නිර්මාණ තියෙනවා. සරලවම කිව්වොත් ඔබ තුමාට තව තරගකරුවන් පිරිසක් ඉන්නවා මේ ක්ශේත්‍රය තුළ , ඉතින් ඔබතුමාගේ මෙම පොල් කටු නිර්මාණ වෙළඳපොළේ තිබෙන අනෙකුත් නිර්මාණ අතරින් වෙනස් වන්නේ කොහොමද ? මේවායේ තියෙන විශේශත්වයන් මොනාද කියල කිව්වොත්.?
•• මගේ නිශ්පාදනවල විශේෂත්වය ගැන කියනවනම්, ඇත්තටම මං මේ ශිල්පය ඉගෙන ගෙන ප්‍රගුණ කරන දෙයක් නෙමෙයි. මම ම තනියම හිතලා මගේ අදහස්වලට අනුව නිර්මාණය කරන දෙයක්. බොහෝදෙනා තමන්ගේ නිර්මාණවලට පොලිශ් එකක් පාවිච්චි කරනවා. ඉතින් මගේ නිර්මාණ වල තියෙන විශේෂත්වය තමයි මං කිසිම පොලිශ් ආලේපනයක් යොදා ගන්නෙ නැහැ. පොල්කටු වැලිකොලවලින් මැදල මැදලම තමයි ඒකෙ තියෙන දිස්නය ගන්නෙ සහ ඒ ස්වභාවික පෙනුම ගොඩාක් කාලයක් පවතිනවා. අපි කෘතිම පොලිශ් වර්ග යොදාගත්තොත් ඒක කාලයක් යද්දි ඒ පෙනුම නැති වෙනවා වගේම කෑම බීම දාන්න නිර්මාණය කරන බදුන්වලට පොලිශ් ආලේප කිරීම මං හිතනවා සෞඛ්‍ය ආරක්ෂිත නෑ කියලා. ඒ නිසා මගේ කිසිදු නිර්මාණයකට මම කෘතිම පොලිශ් ආලේපන යොදාගන්නෙ නෑ. ඒක තමයි විශේෂත්වය.
++ මේ වැඩකටයුතුවලට ඔබතුමාට සහයෝගය දෙන පිරිසක් ඇති. අපි ඒ අයවත් මතක් කරමු.?
•• ඔව් ඒ ගැන කතා කරනවනම්, මට මගේ අම්මා තාත්තා මෙන්ම පවුලේ සියලු දෙනාම විශාල සහයෝගයක් මේ සඳහා ලබා දෙනවා.ඒ වගේම කුඩා ව්‍යාපාර ඒකකයෙන්ද මා හට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී ලබාදෙන සහයෝගය අතිමහත්.
++ එතකොට ඔබ තුමාගේ මේ ව්‍යාපාර කටයුතු හරහා රැකියා අවස්තා ලබාගෙන ඉන්න පිරිසක් ඉන්නවද?
•• දැනට මගේ යටතේ සේවය කරන පිරිසක් නම් නෑ. මම ම තනියම තමයි නිර්මාණ සිදු කරන්නේ. ඉදිරියේදී ව්‍යාපාර කටයුතු තව පුළුල් කරලා සේවකයන් බදවාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
++ ඔබතුමාගේ මේ නිර්මාණ දැකලා ඔබතුමාට මේ ව්‍යාපාරය දියුණු කරගන්න යම්කිසි කෙනෙක් උපකාර කරන්න සිතුවොත් එවැනි කෙනෙක්ගෙන් ඔබ බලාපොරොත්තු වන සහයෝගය කුමක්ද .?
•• යම්කිසි කෙනෙක් මගේ නිර්මාණ දැකලා මට සහයෝගයක් දෙන්න හිතනවානම් මං ඉල්ලන්නේ මට මගේ මේ නිර්මාණ සදහා අලුත් වෙලදපොළවලට පිවිසෙන්න සහයෝගයක් දෙන්න කියලා, හේතුව මට තවම තනියම ඒ දේ කරගන්න ශක්තිය අඩුයි.
++ අවසාන වශයෙන් අපි කියමු ඔබතුමාගේ මේ නිශ්පාදනයන් මිලදී ගන්න පුලුවන් කොහොමද කියල.?
•• ප්‍රධාන වශයෙන් මගේ නිර්මාණ මගේ Face book Page එක හරහා ලබා ගන්න පුලුවන්(Bashana Craft House), ඊට අමතරව මාව සම්බන්ධ කරගෙන මගේ මේ නිර්මාණ සිදුකරන තැනටම ඇවිත් ලබා ගන්නත් පුලුවන්. මාව සම්බන්ධ කරගන්නවානම් මගේ දුරකතන අංකය 0778185879 (Whatsapp). පාරිභෝගිකයන්ට අවශ්‍ය විදිහට නිර්මාණ හදල දෙන්න අපිට පුලුවන්.
++ ඇත්තම කිව්වොත් ඔබතුමා නිශ්පාදනය කරන නිර්මාණ හරිම ආකර්ශනීයයි. අපි ගොඩාක් අගය කරනවා ඔබ තුමා වැනි පරිසර හිතකාමී ව්‍යවසායකයන්ව. ඉතින් ඔබතුමාට බොහොම ස්තූතියි අද ඔබතුමාගේ කාලය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ zeroplastic කණ්ඩායමේ අපි වෙනුවෙන් වෙන් කලාට සහ අපේ ආරාධනය පිළිගෙන මේ කතාබහට එක්වුණාට. Zeroplastic රජරට අපි හදවතින්ම සුබ පතනවා ඔබතුමාට ඔබගේ ව්‍යාපාර කටයුතු ඇතුලු සියලු දේ ඉතාමත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා.
•• බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටත් මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගැනීම සම්බන්ධ ව.
සාකච්ඡාව සහ සටහන :
රිස්කා අශේනි (කළමනාකරණ අධ්‍යන පීඨය)
කෞශල්‍යා මදුශානි (කළමනාකරණ අධ්‍යන පීඨය)