Eco Boost 2.2

කුඹල් කර්මාන්තය කියන්නෙ විශාල ඉතිහාසයකට උරුමකම් කියන කර්මන්තයක්.ඉතිහාසයේ සඳහන් වෙන විදිහට කුඹල් කර්මාන්තය මෙරටට රැගෙන ආවෙ සංඝමිත්තා තෙරණින් වහන්සෙ. හැබැයි ඉතින් ඊට ගොඩාක් කාලෙකට කලිනුත් අපේ රටේ මිනිස්සු මැටි භාණ්ඩ තනලා තියෙන බවට ඉබ්බන්කටුව, දොරවක කන්ද,හල්දුම්මුල්ල වගේ විවිධ ප්‍රදේශ වලිනුත් සාක්ෂි හමුවෙලා තියනවා. කුඹල් කර්මාතයේදී බොහෝ වශයෙන් ගෙදර දොරේ භාවිතයට ගන්නා මුට්ටි, කළ, වළං, කෝප්ප, ගුරුලේත්තු විතරක් නෙමෙයි, ගෙවල් හදන්න ඕන උළු, ගඩොල් වගේ ගොඩාක් දේවල් හදනවා. ඉතින් අතීතයේ සිටම පැවතගෙන එන මේ කුඹල් කර්මාන්තය වර්තමානයේ ඇලුමිනියම්, ප්ලාස්ටික්, ඇස්බැස්ටස් වගේ පරිසරයට හිතකාමී නොවන ආදේශක භාණ්ඩ නිසා වියකිලා යන්න හැදුවත්, කුඹල් කර්මාන්තය රැකගැනීමට තවමත් පිරිසක් උත්සුක වීම සැබවින්ම සතුටට කරුණක්.
++ ආයුබෝවන්. කොහොමද ඔබතුමාට.
•• ආයුබෝවන් ඔයාලටත්. හොඳින් ඉන්නවා.
++ මුලින්ම අපිට කියන්න ඔබතුමාගේ විස්තර ටිකක්.
•• මගේ නම P. W. W. G. S. ජානක වීරසිංහ. මගේ වයස අවුරුදු 52 ක් වෙනවා. මගේ ගම මඩගල්ල පාර, තිත්තවෙල, කුඹුක්ගැටේ. මම රැකියාව විදිහට කරන්නේ කුඹල් කර්මාන්තය ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය.
++ හරි. අපිට දැන් කියන්න ඔබතුමා කුඹල් කර්මාන්තය ආශ්‍රිතව කරන්නේ මොනවගේ නිර්මාණයන්ද?
•• අපි වලං හැර ඕනෑම භාණ්ඩයක් හදනවා. නම් වශයෙන් කීවොත් ද්විත්ව ලිප් හා තවත් ලිප් වර්ග, ගුරුලේත්තු, කෝප්ප, පිඟන්, පහන් හා විසිතුරු භාණ්ඩ වගේ දේවල් හදනවා. තව වෙනත් විසිතුරු භාණ්ඩ වල ආකෘතියක් වගේ පෙන්නලා හදලා දෙන්න කීවොත් අපිට එහෙම භාණ්ඩත් හදලා දෙන්න පුලුවන්.
++ ඔබතුමා කොහොමද මේ නිර්මාණයන් වලට යොමු වුනේ?
•• මම කලින් කෑගල්ල පැත්තෙ තමයි හිටියේ. එහෙ ඉන්න ගමන් සාමාන්‍ය පෙළ විභාගය ඉවර වුනු ගමන්ම මේ නිර්මාණ සඳහා යොමු වුනා. එහෙ ඉන්න ගමන් හස්ත කර්මාන්ත කියලා තැනක් තියනවා මොලගොඩ පුහුනු කරන තැනක්. ඒකෙන් මම ඉගෙන ගත්තා මේ කර්මාන්තය. තව මගේ දෙමාපියොත් මේ කර්මාන්තය කරා. එයාලගෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් වලට දෙමාපියන්ටත් මම උදව් කරා.
++ ඔබතුමා වෙනත් රැකියාවක් කරන ගමන්ද මේ කුඹල් කර්මාන්තයේ යෙදී සිටින්නේ?
•• නෑ මම වෙන රැකියාවක් කරේ නෑ. මේ කුඹල් කර්මාන්තයම තමා කලේ.
++ අපිට කියන්න ඔබතුමාට මේ රැකියාව කරද්දි මොනවගේ අභියෝගයන්ටද මුහුන දෙන්න වුනේ?
•• අභියෝග විදියට මට දැනෙන්නෙ මේ පැත්තෙ ගොඩක් අය මේ කර්මාන්තය කරනව ඉතින් ලොකු තරගකාරිත්වයක් මේ කර්මාන්තයට තියෙනවා.. නමුත් මේ භාණ්ඩ වල ගුණත්වය සමග සසඳන කොට හොද ඉල්ලුමකුත් වෙළඳපල තුල තියෙනවා.
++ අපිට කියන්න ඔබතුමා කොහොමද මේ මැටි භාණ්ඩ තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්නෙ?
•• අපි අමුද්‍රව්‍ය හොයාගන්නෙ වැව් වලින්. වැව් තුන හතරක වැලි මැටි, ඉටි වගේ මැටි කියන ඔක්කොම මැටි වර්ග ගෙනත් එකතු කරල තමා මේ නිර්මාණ හදන්නෙ. තව අපේ විසිතුරු නිර්මාණ හදන්න අපි වෙනම මැටි වර්ගයක් ගේනවා කැළණිය ප්‍රදේශයෙන්.
++ ඒ වගේම අපි දැන ගන්න කැමතියි මේ කුඹල් කර්මාන්තය අපේ රටට කොච්චර දුරට වැදගත්ද ?
••කුඹල් කර්මාන්තය කියන්නේ අපේ රටේ ලොකු ඉතිහාසයක් තියන කර්මාන්තයක්. ඇත්තටම ප්ලාස්ටික්, ඇලුමිනියම් වගේ ශරීරයට අහිතකර භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කරනවාට වඩා, කෑම උයන්න උනත් සෞඛ්‍යාරක්ෂිත මැටි භාණ්ඩ යොදාගන්නවානම් ඉතාමත් හොඳයි. මම නම් කියන්නේ මැටි වළඳක කෑමක් උයන් කන එක තමා හොඳම. ඒකෙන් පිටරටට යන මුදල් ඉතිරි වෙනවා වගේම මිනිස්සුන්ට කටට රසට කෑමක් කාලා නිරෝගීව ඉන්නත් පුළුවන්.
++ කුඹල් කර්මාන්තයට මේ වෙද්දි වෙළඳපලේ ඇති වටිනාකම (ඉල්ලුම) කොහොමද ?
•• ඇත්තටම මේ මැටි භණ්ඩවටලට සපයන්න බැරි තරමටම ලොකු ඉල්ලුමක් තියනවා. අතරමැදියන් තමා මේ කර්මාන්තය නිසා ගොඩක්ම උපයන්නේ. මැටි, දර, විදුලිය, තෙල් වලට ලොකු පිරිවැයක් වැය වුණත් මේ කර්මාන්තයෙන් අපිටත් ලාභයක් තියනවා.
++ අපි දැනගන්න කැමතියි ඔබතුමාට මේ ව්‍යාපාරය කරගෙන යන්න සහයෝගය ලැබෙන්නේ කුමන පාර්ශව වලින්ද?
•• ආයතනයක් විදියට ගත්තොතින් ජාතික ශිල්ප සභාව තමයි අපට මේ වෙනකන් සහයෝගය ලබාදෙන එකම ආයතනය වෙන්නෙ. එම ආයතනයෙන් තමයි මම මේ වැඩකරන හැම යන්ත්‍රයක්ම වගේ ලබා දුන්නෙ. ඒ වගේම විවිධ ණය පහසුකම් එහෙමත් එම ආයතනයෙන් ලබා දෙනවා. ඒක ඇත්තටම ලොකු හයියක් අපට. ඊට අමතරව විශේෂයෙන් මගෙ පුතා සහ බිරිඳ ලොකු සහයෝගයක් ලබා දෙනවා මගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න. පුතා උසස් අධ්‍යාපනය ලබන ගමන් තමයි මට සහය වෙන්නෙ. තව මගේ ඥාති සහෝදරියක් මට සහය වෙනවා නිෂ්පාදන කටයුතු වලට. අපි හතර දෙනා තමයි ඉතින් පවුලේ ස්ව්‍යං ව්‍යාපාරයක් විදියට මේක කරගෙන යන්නෙ. පිටතින් සේවකයන් බඳවා ගැනීමක් කරන්න තවම අදහසක් නෑ.
++ ඒ වගේම ඔබතුමාගේ නිශ්පාදන මිලදී ගන්න පුලුවන් ආකාරය ගැනත් අපි දැනගන්න කැමතියි.
•• මගේ නිෂ්පාදන වැඩි වශයෙන්ම අලෙවි වෙන්නෙ අතරමැදි කරුවන්ට. එයාල නිවසටම ඇවිත් නිෂ්පාදන මිලදී අරගෙන ගිහින් රටපුරා විවිධ වෙළෙඳසැල් වලට බෙදාහරිනවා. ඊට අමතරව මගේ නිවස ඉදිරිපිට තියන මගේම ප්‍රදර්ශනාගාරයෙනුත් කැමති කෙනෙක්ට ඇවිත් නිෂ්පාදන මිලදී ගැනීමට පුලුවන්. ඒ වගේම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය පරිදි විවිධ නිෂ්පාදනයන් කරදීමටත් අප සූදානම්. තවදුරටත් අපගේ “ලක් රූ” නිල facebook පිටුව මඟිනුත් අපව සම්බන්ධ කරගෙන ඇණවුම් ලබා දෙන්න පුලුවන්.
++ පරිසරයට අහිතකර භාණ්ඩ වැඩි වශයෙන් භාවිතයට ගන්නා වර්තමානයේ, මෙවන් අතීතයේ පටන් රැගෙන ආ මේ කුඹල් කර්මාන්තය අනාගතයටත් රැගෙන යන්නට වෙර දරන ඔබතුමන් වැනි අයව අපි බෙහෙවින් අගය කල යුතුයි. ඉතින් අද අප සමග එක්ව ඔබතුමාගේ අදහස් අප සමග බෙදා ගනිමින් ඔබතුමාගේ කාර්‍යබහුල දවසෙන් අප වෙනුවෙන් මේ කාලය කැපකලාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. එමෙන්ම අපේ ඉල්ලීම පිලි අරගෙන ඔබතුමාගේ වැඩබිමටම අපට ආරාධනා කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ zero plastic ඒකකයේ අපේ මේ කතාබහට අවශ්‍ය භාණ්ඩ නිර්මාණය කර පෙන්වමින් ලබා දුන් සහයෝගයටද ඔබතුමාට බෙහෙවින් ස්තූතිය ප්‍රකාශ කරනවා. Zero Plastic public relation team අපි හදවතින්ම ඔබතුමාට සුබ පතනවා ඔබතුමාගේ මේ ව්‍යාපාර කටයුතු ඇතුලු සියලු දේවල් ඉතාමත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා.
•• බොහොම ස්තූතියි ඔයාලටත් අපිව මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තාට.
සාකච්ඡාව සහ සටහන:
දීප්ති ගුරුගේ, පමුදි කෞෂිකා, මල්මි ප්‍රසංගිකා, රවිඳු ධර්මසිරි,
කලමණාකරන අධ්‍යන පීඨය