We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

ප්ලාස්ටික් බෑග්වලින් සිදුවන පරිසර දූෂණය

ප්ලාස්ටික් බෑග්වලින් සිදුවන පරිසර දූෂණය

වර්තමානයේ සමස්ත ලෝකයේ ම ප්‍රධාන කතිකාවතට බඳුන් වූ තේමාවක් වන පරිසර දූෂණයට ඍජුවම සම්බන්ධ වන සාධකයක් ලෙස ප්ලාස්ටික් බෑග් භාවිතය පෙන්වාදිය හැකි ය. ලෝකයේ ජීවත් වන බාල ,මහලු, තරුණ සෑම ජන කණ්ඩායමක් ම වර්තමානය වන විට ප්ලාස්ටික් බෑග් භාවිතයට වැඩි නැඹුරුවක් දක්වයි.ඉතා ඉහළ ජන ප්‍රතිශතයක් ප්ලාස්ටික් බෑග් භාවිතය සඳහා යොමු වීමට හේතු කාරණා රාශියක් බලපායි.ආකර්ෂණීය බවකින් යුතුවීම, සැහැල්ලු වීම, අඩු පිරිවැයකින් මිලදී ගත හැකි වීම, පරිහරණයට ඉතා පහසුවීම යනාදී කරුණු කාරණා නිසා ලෝකයේ ජීවත්වන සෑම ජන කොට්ඨාසයක් ම පාහේ මෙම ප්ලාස්ටික් බෑග් භාවිතයට වැඩි නැඹුරුතාවයක් දක්වයි. එය මිනිසුන් විසින් ඔවුන්ගේ භාවිතයේ පහසුව පිණිස කරන කර්තව්‍යයක් වුව ද එයින් පරිසරයට සිදුවන හානිය විශාල ය.
ලෝකයේ ප්ලාස්ටික් බෑග් කොපමණ සංඛ්‍යාවක් පරිහරණය වනවා ද යන්නට හොඳම නිදර්ශනයක් ලෙස ලංකාවේ ප්ලාස්ටික් බෑග් පරිහරණය, 2016 වර්ෂයේ සංගණනයකට අනුව මෙලෙස පෙන්වා දිය හැකි‍ ය. 2016 වර්ෂයේ දී ප්ලාස්ටික් සහ පොලිතින් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරන ලද අතර ඉන් 70%ක් දේශීය භාවිතයට ගෙන නැවත 30%ක් විවිධ ස්වරූපවලින් විදෙස් රටවලට ආනයනය කර ඇත. එමෙන්ම දේශීය භාවිතයෙන් 40%ක් පමණ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කළ අතර ඉතිරි 30%ක ප්‍රමාණය ඍජුව ම පරිසරයට එකතු වී ඇත. මෙම ප්ලාස්ටික් සහ පොලිතින් මෙට්‍රික් ටොන් ලක්ෂ පහෙන් ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ඉක්මවා ඇති බව වාර්තා වේ. ලංකාවේ දෛනිකව ජනනය වන අපද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 8500 ක් පමණ ප්‍රමාණයෙන් ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600ක් බව වාර්තා වී ඇත. ඉන් 10% ප්ලාස්ටික් බෑග් වැනි ඝන අපද්‍රව්‍ය බව අනාවරණය වී ඇත. මේ සංගණනය 2016 වර්ෂයට අදාළවයි. නමුත් 2024 මේ වර්තමානය වන විට මෙම ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ප්‍රතිශතයකට ගොස් ඇති බව නවතම අනාවරණවලින් තහවුරු වී ඇත.පසුගිය වර්ෂ වලට අදාලව සංගණනය කළහොත් ලංකාවේ ප්ලාස්ටික් බෑග් මිලියන දහයකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව පරිහරණය කරන අතර ඉන් 10%කට අඩු ප්‍රතිශතයක් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලට යොමුවන නමුත් ඉතිරි ප්‍රතිශතය සෘජුවම පරිසරයට මුදා හැරේ. සාපේක්ෂ වශයෙන් වර්ෂයකට බිලියන 5.5ක ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් බෑග් ලංකාව තුළ පරිසරයට එකතු වේ. මෙලෙස විධිමත් කළමනාකරණයකින් තොරව ප්ලාස්ටික් භාවිතා කළ හොත් 2050 වසර වනවිට මෙට්‍රික් ටොන් 12 සීමාව ඉක්මවා පරිසරයට බැහැර වන කසල ප්‍රමාණය වර්ධනය වන බව ඇමරිකානු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ නවතම පර්යේෂණයක් මගින් තහවුරු වී ඇත.
ජනගහනය ක්‍රමිකව ඉහළ යනවාත් සමඟව ඒ හා සමාන්තරව ශීඝ්‍රයෙන් ඉහළ යන අංගයක් ලෙස ප්ලාස්ටික් බෑග් භාවිතය හඳුන්වා දිය හැකි ය. අප දෛනිකව භාවිතා කරන ප්ලාස්ටික් බෑග් නිර්මාණය කර ඇත්තේ පහසුවෙන් දිරාපත් නොවන කෘතීම බහු අවයවයක් වන පොලිඑතිනීල්වලිනි. ප්ලාස්ටික් බෑග් දිරාපත් වීමට වසර විස්සකට අධික කාලයක් ගත වේ. ඒ ප්ලාස්ටික් සංයුතියේ ස්වභාවය යි. මෙම ප්ලාස්ටික් බෑග් පරිහරණයෙන් පසු අක්‍රමවත්ව පරිසරයට මුදා හැරිය හොත් ඒවා වසර සිය ගණන් පරිසරයේ තැන්පත් වේ. දිරාපත් නොවන මෙම සංඝටක අධික කාලයක් පසට ,ජලයට එකතුවීම මගින් පසේ සාරවත් බව වියැකී යාම ,ජල දූෂණය ,සාගර දූෂණය ඇතුළු සමස්ත පරිසර පද්ධතියට ම ප්‍රබල ලෙස තර්ජනයක් එල්ල කරයි.
එමෙන් ම ප්ලාස්ටික් බෑග් පරිසරයට එක්වීමෙන් පසුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හඳුන්වන කුඩා කැබලිවලට ඛාදනය වී පරිසරයට එකතු වෙයි. මෙම කුඩා අංශු පරිසර පද්ධතියට එක්වීමෙන් මේවා පරිභෝජනයට ගන්නා සතුන්ට විවිධ සංකූලතා ඇතිවෙයි. මෙයට හොඳම නිදර්ශනය වන්නේ සාගර පද්ධතිය තුළ කැස්බෑවන් වඳවීමේ තර්ජනයට මුහුණ දීමයි. සාගරයට බැහැර කරන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය මේ වන විට ඉහළ ගොස් ඇති අතර කැස්බෑවන් ආදී මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත. සාගරයට මුදා හරින ප්ලාස්ටික් බෑග්වලින් ඇතිවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහිත ද්‍රව්‍ය ආහාර ගැනීමෙන් සාගර ජීවීන් සිය දහස් ගණනක් මෙන්ම මුළු සාගර පද්ධතිය ම මේ වන විට විනාශයට පත්ව ඇත.
සාගර ජීවීන්ට පමණක් නොව ගොඩබිම වෙසෙන අනෙකුත් සත්ත්ව කොට්ඨාසයන්ට ද ප්ලාස්ටික් බෑගවලින් සිදුවන තර්ජනය ඉමහත් ය. පක්ෂීන් ඇතුළු අනෙකුත් සත්ව කොට්ඨාස ප්ලාස්ටික් බෑග් ආහාර ලෙස ගන්නා අවස්ථා නගරාශ්‍රිතව මෙන් ම අනෙකුත් ස්ථානවල ද දැකගත හැකි ය. මෙසේ සතුන් ඒවා ආහාරයට ගැනීමේ දී ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ගැටලු ඇතිවීම ,අධික කුසගින්න සහ එවැනි බොහෝ රෝගාබාධ නිසා සතුන් මරණයට පත්වන අවස්ථා දැකගත හැකි ය. ප්ලාස්ටික් බෑග් නිසා පරිසරයේ සිදුවන තවත් ප්‍රබල හානියක් වනුයේ රසායනික දූෂණයයි. මෙම ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය කිරීමේදී bisphenol A (BPA) සහ phthalates නම් පරිසරයට හානිකර ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී රසායනික ද්‍රව්‍ය පසට හා ජලයට එක් වීමෙන් මිනිසුන් ඇතුළු සියලු සතුන්ට සෞඛ්‍යමය හානි රාශියක් ඇති කරයි. එමෙන්ම ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනයට ෆොසිල ඉන්ධන, ඛනිජ ද්‍රව්‍ය යොදා ගනියි. මේවා නිස්සාරණය කිරීම සහ සැකසීමේ දී හරිතාගාර වායු විමෝචනය තුලින් පාරිසරික හායනය ශීඝ්‍රයෙන් සිදුවේ. මෙවැනි තත්ව නිසා පෘථිවි ආරක්ෂක ලෙස ක්‍රියා කරන ඕසෝන් ස්ථරය හායනය වී තිබේ.එය සමස්ත පෘථිවි ගෝලය ම මුහුණ දී ඇති දරුණුතම ව්‍යසනය යි.
මේ ආකාරයට දෛනික ප්ලාස්ටික් බෑග් භාවිතය ඉහළ ගියහොත් අපට ජීවත්වීමට හෝ පරිසරයක් ශේෂ නොවනු ඇත. හරිතවත් ලොවක් තනාගැනීම නොකොට පරිසර විනාශය සිදුකරන මානවයන්ට ස්වභාව දහමෙන් ලබා දෙන දණ්ඩනවලට අනාගතයේ දී ගොදුරු වීමට නිසැකයෙන් ම සිදු වේ.අපිත් ,ලොවත්, පරිසරයත් සුරැකීමට නම් දෛනිකව භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය අවම කර ගනිමු. ප්ලාස්ටික් බෑග් වෙනුවට ස්වභාව ධර්මයට හිතකර පරිසර හිතකාමී ඇසුරුම් භාවිතා කරමු.
Article By – Nisansala Mihirani

මුලාශ්‍ර:

2022 මාර්තු 21 සිළුමිණ` සෙනසුරාදා සංග්‍රහය.
ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු | සිළුමිණ (silumina.lk)
2019 පෙබරවාරි 14 buildgreensl blog article.
“BuildGreenSL”: ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය ගැන ඔබ නොදත් කරුණු
The ocean foundation වාර්තාව. oceanfdn.org/si/initiatives/plastics-initiative/
2023 ජූලි 07 දිවයින සඟරාව.
ප්ලාස්ටික් අවභාවිතය නිසා ලෝකයම අනතුරක පාලනයට දැඩි ක්‍රියාමාර්ග එනවා | Divaina